

ජීවිතේ අපිට මේ මොහොතෙ වෙන දේවල් වගේම වෙච්ච දේවල් සමහරක් බලාපොරොත්තුවෙන් සිටිය දේවල් උනාට සමහරක් අපිට ඉබේම වෙච්ච දේවල් නේද? ඒ ඉබේම කියන දේවල් වලින් සමහරක් අපි කිසි දිනකවත් බලාපොරොත්තු නොවූ අත්දැකීම් නේද.? එවැනි අත්දැකීම් අපි කාටත් තියෙනව. ඉතින් ඒ අත්දැකීම් වල යහපත් සහ අයහපත් කියන දෙක උඩ අපිට සතුටත් දුකත් කියන දෙක අත්විදින්නට සිදුවෙනව. එය සතුටක් නම් එය සතුටක් විදිහට අපගේ මතකෙ රැදෙනමුත් එය දුකක් නම් එය දුකක් ලෙස අපගේ හිතේ මතක හිටිනවා. ඉතින් මේ කතාව මෑතකදී මට මුහුණදෙන්නට උනා වූත් මා කිසි විටකවත් බලාපොරොත්තුවෙන් නොසිටි මොහොතක ඉතා ක්‍ෂණයෙන් සිදු වූත් යම් කණගාටුදායක සහ මා ඉතා කලකිරීමකට ලක් වූ මගේ අත්දැකීමක පසුවදනයි.
ඒකාකාරී මේ ජිවන රටාවේ සුපුරුදු පරිදි සෙනසුරදා දිනක උදේ පාන්දරින් වැඩට යන්නට පාපැදිය අතට ගත් මම නිවසින් පිටත්වී ගතවුයේ විනාඩි 10ක් වැනි සුළු වේලාවකි. සුපුරුදු මාවතේ, උදය වෙලාවක් වුවත් ගිම්හානයේ තද හිරු රශ්මියත් සුපුරුදු පරිදි හැල්මේ දුවන වාහන පෙළත් සමග මමත් ඉදිරියට ගමන් කලේ එදිනට කැප වූ දවසේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත වෙලාවට යාමේ අරමුණ අතැතිවය. නිවසත් ඒ විනාඩි 10ත් අතර දුරත් සමග මට හමුවන පළමු හතරමංහන්දිය පටු වූ නමුත් රටෙහි ආර්ථිකය පටවාගත් විශාල වාහනත්, රටෙහි ආර්ථිකයට දායක වන මා වැනි කුඩා පාපැදි කරුවනුත් ගමන් කරනා ප්‍රධාන මංසන්දියක් විය. සුපුරුදු පරිදි මා යායුතු මාවතට යාමේ අරමුණින් නියමිත නීතීන්ට අනුකුලව මා ඉදිරියට ගමන් කලත් මාගේ දකුණු ඇසට ක්‍ෂණයෙන් හසු වුයේ නීති රීති නොතකා මා වෙතට එන වැගන් වර්ගයේ කුඩා කාර් රථයකි. එය එනු දුටු මා ක්‍ෂණිකව පාපැදිය නතර කලමුත් වෙනතක තම දෑස් යොමා මා වෙතට පැමිණි රියදුරු අහිපිල්ලක් හෙලන තප්පරයෙන් වසර දෙකහමාරක් වයසැති වයෝවෘර්ධ මගේ පාපැදියටත් මටත් සිදුවුයේ කුමක්ද යන්න නොවැටහෙන තරමට අනතුරට ලක්වුයේ, අනතුරට ලක් වූ තැනත් මමත් මගේ පාපැදියත් අවසානයේ නතර වූ තැනටත් කෙසේ පැමිණියේද යන්න අප දෙපලටම කිසිම අදහසක් නැතිවන තරමටය. මටත් වාසනාව කියා දෙයක් තියනවා යන්න පෙන්නන්නට විශ්වය විසින් මට දුන් පාඩමක්දෝ කියා හිතෙනා මට්ටමට මා එදින ශරීර අභ්‍යන්තරයේ කිසිදු හානියක් නොවී ආරක්ෂා වීම මාගේ එකී වාසනාව නිසා සිදු වූ වාසනාවකි. එහෙත් දකුණු අතත් දකුණු කකුලත් කිහිප තැනකම තුවාල සිදු වී මගේ වයෝවෘධ පාපැදියත් සැලකිය යුතු බලපෑමක් සිදුවී තිබුණි. සිදු වූ අනතුරත් එයින් ඇති වූ කම්පනයත් නිසා මා ඒ අසල බිම වාඩි වී ඒ වේදනාව පහවෙන තුරු සැලකිය යුතු වේලාවක් වේදනාවෙන් සිදුවුයේ කුමක්ද යන්න සිතින් කල්පනා කරමින් බලා සිටියේ අවට පරිසරයේ ඒ මොහොතේ සිදුවන්නේ කුමක්ද යන්නටද අවධානය යොමු කරමිනි. තුවාල වල වේදනාවෙන් සහ මානසික පීඩනයෙන් සිටියමුත් කිසිදු දෙයක් සිදු නොවූ ලෙසත් වේදනාවෙන් පෙලෙනා මා නොදැක්කා ලෙසත් මා අසලින් ගමන් කරනා ඒ මිනිසුන් දුටු මා හට මාගේ වේදනාවට එහා ගිය කලකිරීමකටත්, මා අසලින් මේ ගමන් කරනේ ඇත්තටම මිනිසුන්ද යන තරමට මා පුළුල් කල්පනාවකට පෙරලූයේ මෙවැනි අනතුරු මා මිට පෙරදී අත්විද ඇති නමුත් මෙවන් මානව හැසිරීම් රටාවක් මා මීට පෙර අත්විද නොමැති වූ නිසාවෙනි.
රිය අනතුරක් යනු අනතුරෙහි නිර්දෝශි පුද්ගලයා මහා කපටි ධනවතෙකු කරනා ධන නිධානයක් යන්න මා හරියටම දැනගත්තේ මාගේ මේ අනතුරත් සමග ගෙවීගිය සති දෙකක වැනි කුඩා කාලයේදී ය. මෙම අනතුරෙන් පසු එකී සති දෙකක කාලය පුරාවටම හමු වූ සෑම පුද්ගලයෙක්ම මාගේ මේ කතාව ඇසීමෙන් පසු මා හට පැවසූ දෑ අතර, එකී ධනවතෙකු වීමට කලයුතු දෑ ඇරෙන්නට අන් කිසිවක් නොවිය. සමහරුන් හමුවන වාරයක් පාසා මා හට පැවසූවේ ඒ මුදල් ගඟ ගලා ඒමට පාර සකසා ගන්නා කපටි අදහස් පිළිබදවය. තවත් සමහරෙක් “එහෙනම් දැන් අනුපම සල්ලිකාරයෙක් නේද” යන කට විහිලු පැවසූවේ සමස්තයක් වශයෙන් මේ සමාජය තුළ එවන් පසුබිමක් ගොඩනැගී ඇති නිසාවෙනි. දිනක් පාසලේ දේශනයක් අතරමැද රිය අනතුරු පිළිබඳව ගොඩනැගුණු කතාබහකදී අපගේ දේශකතුමා පැවසුවේ මෑතකදී පාසල් සිසුවෙක් පාපැදියකින් පාසැල වෙත යන අතරතුර සිදුවූ අනතුරක් පිලිබඳවය.
දිනක් සුපුරුදු මාවතේ සුපුරුදු පරිදි පාසල් යාමේ අරමුණෙන් පාපැදියෙන් පාරෙහි ගමන් කරනා විට ඔහු ඉදිරියට වාරු නැති වයස්ගත පුගලයෙක් පැමිණි ඇති අතර එම සිසුවා ඔහුට නිසි ඉඩ ලබාදී ඉදිරියට ගමන් කරන්නට තැත්කර ඇති නමුත් දෙපා වරු නැතිව එම වයස්ගත පුද්ගලයා පාපැදිය දෙසට පැමිණ ඇත්තේ සිසුවාට කරකියාගැනීමට කිසිවක් නැති ලෙසිනි. කෙසේ නමුත් එම වයස්ගත පුද්ගලයා පැපාදියෙහි වැදී බිම ඇදන් වැටී ඇති අතර එම සිද්ධියෙන් පසු ඔහු මරණයටද පත්වී ඇත. එම සිසුවා මාර්ග නීතිරීති කිසිවක් කඩකර නොමැති නමුත් එම සිසුවාට සහ ඔහුගේ දෙමාපියන්ට අත්වූ ඉරණම අසූ මා හට ඇතිවුයේ වචනයෙන් කිව නොහැකි තරම් වූ පිළිකුල් සහගත හැගීමකි. එම වයස්ගත පුද්ගලයාගේ පවුලෙහි සාමාජිකයින් තම පියා මරණයට පත්වූවා යන්න මුල් කරගනිමින් එම සිසුවාගෙන් වන්දිය ලෙස ජපාන් 1億円 (100 million) මුදලක් ඉල්ලා ඇති අතර අවසානයේ එම සිසුවාගේ පවුලෙහි දෙමාපියන් විසින් ඔවුන් සතුව තිබූ මුදලුත් අවට ඥාතීන්ගෙන් ඉල්ලාගත් මුදලුත් යම් යම් ස්ථාන වලට ණය වී ලබාගත් මුදලුත් එකතුකොට ගෙවා ඇති නමුත් එම සිසුවාත් එම දෙමාපියනුත් අන්තිම අසරණ වී සිටි බවත් දේශක තුමා අපට පැවසුවේ අප වැනි විදෙස් ශිෂ්‍යයෙක් හට මෙවන් සිද්ධියක් වුවහොත් අපට මෙරට තුළ අපිට අපි ඇරෙන්න වෙන කිසිවෙකු නැති නිසා අපගේ ආරක්ෂාව පිණිස ප්‍රවේසම් වෙන ලෙස කීමටය. මා අසා ඇති මෙවන් කතා අතර මෙය තවත් එක් කතාවක් විතරක් වූ නමුත් මගේ සිත පිළිකුලෙන් මිරිකූ සිද්ධියක් ලෙස මෙම කතාව හැදින්විය හැකිය. කෙසේ නමුත් මගේ කතාව තුල මා නිර්දෝශී ධන ලාභියා වීම නිසාවෙන් මගේ කතාව තුළ මා අරක්ෂිත වීම ඇත්තටම වාසනාවකි.
මෙම රිය අනතුරත් ඉන්පසු සති දෙකක වැනි කෙටි කාලයත් තුළ දී සිදු වූ සිද්ධි මාලාවත් නිසා හටගත් කලකිරීම සහ පිළිකුල නිසාවෙන් අනතුරෙන් මා හට රක්ෂණ සමාගම හරහා ලැබෙන්නට තිබූ වියදම් වූ රෝහල් ගාස්තු සහ අනෙකුත් වියදම් පවා නැවත ලබාගැනීමට මා හට එතරම් උවමනාවක් නොවිය. එනමුත් රක්ෂණ සමගම විසින් රෝහල් ගාස්තු සහ මා ලබාගත් බෙහෙත් වල වියදම් මට ගෙවීමට නොසලස්වා ඔවුන් විසින් ගෙවා පියවා දැමීම මට පහසුවක් වුයේ අනතුර සිදුවන දිනයේ 4000¥ ඇරෙන්නට මා සතු නොවූ නිසාවෙනි. ඉන්පසුවද ගමන් වියදම් සහ මගේ පාපැදියට වූ හානියන් හට රක්ෂණ සමාගම හරහා මගේ බැංකු ගිණුමට මුදල් බැරකර තිබුණි.
කෙසේ හෝ එකී මා අත්වින්දා වූ අත්දැකීම එලෙස ලියා අවසන් කිරීමට සිතූවත් එකී කතාව අවසානයේ මෙසේ ලියා තබා අවසන් කිරීමට තීරණය කළෙමි, මිනිසා මැවූ මුදල් විසින් මිනිසාව මොන තරම් වෙනස්කර ඇත්ද, විනාශ කර ඇත්ද….? ආදරය, කලාව, මනුශ්‍යත්වය සහ කී නොකී සෑම දෙයක්ම මුදලට යට වී ගිය ලෝකයක මනුශ්‍යත්වය සෙවීම මෝඩකමක් යැයි සිතූවද සැබෑවටම මේ ජීවිතය තුළ අප මුදලට යටවිය යුතුමද යන ගැටලුව, ප්‍රශ්නය මාගේ මනස මගෙන්ම ප්‍රශ්න කරන්නේ මුදල් නමැති නිමැවුම නිසා අප අපගේ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් මේ ජීවිතයේ කෙටි කාල පරිච්ඡේදය කෙතරම් නාස්ති කරගන්නවද යන මගේ කල්පනාව නිසාවෙනි. මුදල් යනු සාර්ථකත්වක් ලෙස නොව එය ජීවිතය පවත්වා ගැනීමට උපයගන්නා ආයෝජනයන්ගෙන් එකක් ලෙස මම දකිමි. ඉතින් ඔබගේ තෝරාගැනීම් ඔබගේ ජිවිතයේ ඉදිරිය තීරණය කරාවි.
සතුට යනු අපගේ තෝරාගැනීම් සහ අප සිතන ආකාරයන්ගෙන් ගොඩනැගෙන්නා වූ උපදින මැරෙන හැගීමක් ලෙස මම දකිමි. එහෙත් අප තුළ ගොඩනගාගන්නා අභ්‍යන්තර සාමය යනු දුකත් සතුටත් අතර මැද ගොඩනැගෙනා හරි අපූර්ව දායාදයක් බව මම දනිමි.
“inner peace will calm any storms”
ඔබට ස්තූතිය!