
දැනට අවුරුදු දෙකහමාරක් පමණ ජපානයේ ජිවත්වන මා ජපානයේ අලුත් පරිසරයකට පැමිණ ජීවිතයට තවත් අලුත් අද්දැකීම් ගොන්නක් ගොනු කරන්නට පටන්ගෙන දැනට මස දෙකහමාරක් පමණ ගත වී ඇත. ඒ ජපානයේ ලස්සන සහ නිස්කලංක පරිසරයක් හිමි චිබ ප්‍රාන්තයේ katsuthadai නම් වූ පුංචි නගරයයි. පහුගිය අවුරුදු දෙකක් පමණ වූ කාලය තුල වටයක් ගහන්නට ඕනෑ කමක් හිත තුල තිබුනද ඒ අවුරුදු දෙක තුල තිබූ කාර්යය බහුලත්වය නිසා එයට ඉඩක් නොවිය. ඉතින් චිබ ප්‍රාන්තයේ වටයක් ගහනවාමයි සිතා අන්තර්ජාලයට පිවිසුන මට විවිධ වූ සුන්දර පරිසර පද්ධතීන් සහ මෙම ප්‍රාන්තයේ විශේෂ ස්ථාන රාශියක් අන්තර්ජාලය හරහා ගලා ආවේය. එයින් මට පළමුවෙන්ම අස ගැටුනු සහ පහසුවෙන්ම යා හැකි ස්ථානයක් ලෙස මම තෝරාගත්තේ Hiyodori Zaka නම් වූ සුන්දර උණබට වනයක් මැදින් දිවෙන පුංචි මාර්ගයක් සහිත ලස්සන ස්ථානයකි.
Hiyodori Zaka යනු වසර 300 පමණ පැරණි ඉතිහාසයක් සහිත සහ ජපානයේ අතීතයේ වාසය කලායැයි සැලකෙන සමුරායි වරුන් ගමන් කල උණබට වනයක් මැදින් දිවෙන මාර්ගයක් සහ ඔවුන් ජිවත් උනා යැයි සැලකෙන පුංචි ගම්මනයෙකි.
නිවසේ සිට පාපැදියෙන් විනාඩි 45 ක ගමනක් වූ මෙම ගමන පැය දෙකක දීර්ඝ ගමනක් වුයේ වෙන අන් කිසිදු හේතුවක් නිසා නොව අප නිවසත් Hiyodor-Zaka ත් අතර වූ අලංකාර සුන්දර මාර්ගය නිසාවෙනි. පැය දෙකකට ශ්‍රී ලංකාවට ගියා මෙන් දැනුනා වූ සහ කාර්යය බහුල මෙන්ම දැනට පවතින ඒකාකාරී ජිවන රටාව ක්‍ෂනයෙන් අමතක කරලීමට හැකි වූ ඉතා සුන්දර ගමනක් විය.නැවත ලංකාවට ගිය මෙන් කීමට මා අදහස් කලේ අපි ගිය වූ ඒ මාර්ගය දිගටම වෙල් යායවල් සහ ගහකොළ පිරීගිය සුන්දරත්වය නිසාවෙනි.
ජුලි මාසය යනු ජපානය රත් කරවන summer season එලබී ඇති කාලයයි. නමුත් අද දවස තරමක් වැහිබර කාලගුණයක් පෙන්වුවත් මුළු දවසම වලාකුළු වලින් අපට සෙවන සපයන කාලගුණයක් තිබූ වාසනාවන්ත දවසක් විය. මෙම වටය යාමට පෙර කාලගුණ වාර්ථාවන් කියවූ මා දුටුවේ පසු දින රස්නය අඩු වන නමුත් වැස්සෙන් කිසිදු අඩුවක් නොවන බවය. එනමුත් මගේ කල්පනාව වුයේ හෙට දිනය මොන තරම් අපහසු දේශගුණයක් පැවතියත් මේ ගමන කෙසේ හෝ යනවාය යන අධිෂ්ඨානයකි.
මාර්ගය අවට පරිසරයේ සුන්දරත්වය බුක්ති විදිමින් පය දෙකකට ආසන්න කාලයක් තුළදී Hiyodori-Zaka වෙත ගිය අපි එයට ඇතුළු වූයේ අලංකාර බට වනයක් මැදින් පිහිටි පිළිවෙලකට සකසන ලද අලංකාර මාවතක් ඔස්සෙ ය. එහෙත් කණගාටුවට හේතු වුයේ ඒ අලංකාර මාවතේ සුන්දරත්වය පැවතියේ ඉතා කෙටි පාගමනක් යාමට පමණක් වීමත් ය. Hiyodori-Zaka කුඩා කදුගටයක් තුළ පිහිටි අතර, අපගේ ගමන ඒ පාමුල සිට ආරම්භ කර කදු ගැටයේ ඉහලට ගමන් කල විට ඒ බට වනයේ සුන්දරත්වය අවසන් වී නිදහස් පරිසරයකින් යුත් ජපන් භාෂාවෙන් ‘ඔතෙරා’ නම් වූ පන්සලක් වැනි ස්ථානයකට ඇතුළු වුවත් මා බලාපොරොත්තු වූවා වූ සුන්දරත්වයක් කදු මුදුනට පැමිණි විට අත්නොවින්දෙමි. කෙසේ වුවත් යම් කෙටි වෙලාවක් එහි ගතකල අපි නැවත පිටත් විමාට කටයුතු කලේ නොකීවද බලාපොරොත්තු වූ ඒ සුන්දරත්වය අපට එයින් උකහා ගැනීමට නොහැකි වූ නිවසවෙනි.
එහෙත් නිවසේ සිට අපගේ ගමනාන්තය දක්වාත් Hiyodori-Zaka හි බට සෙවනෙන් මනසට ලැබුන වූ මානසික සුවයත්, ශාරීරිකවත් මානසිකවත් තෙහෙට්ටු වී සිටි මා සැනසූ දිය පොදක් බදු විය. ඉතින් බලාපොරොත්තු බලාපොරොත්තුවක් වූ නමුත් මම ලබූ සහනය සතුටින් වලදගත්තෙමි. තවද ජිවිතයේ බලාපොරොත්තු ගොඩගසා ඒවා ඉෂ්ඨ වේවි යන්නට බලාපොරොත්තු ගොඩනොගසා මේ මොහොතේ සුන්දරත්වය මගනොහරගත යුතුය යන ජිවිතාභෝදය නොකිය කියාදුන් සුන්දර වටයක් ලෙස මෙය හැදින්විය හැකිය.
ස්තුතිය!