
සතියකට කලින් යමුද මචං කියල කියපු මේ ගමන යන්න කලින් දවස වෙනකොටවත් යනවද කියල හරි පැහැදිලි තීරණයක් නොතිබ්බ ගමනක් මේක. අමතර ඇදුමකුයි දෙකකුයි ,camera බදු ටිකයි, වියදමට ඇතිවෙයි කියලහිතපු තරම් සල්ලි ටිකකුයි අරගෙන ගෙදරින් උදේ 6.30ට 7.00ට විතර එළියට බැසසෙ හරියට ගමනේ තියෙන බැරෑරුම් කම නොදන්නා ළදරුවෙක් විදිහට.
東静岡県駅 (East Shizuoka Station) එකට ගිය මම මගේ ගමනේ සගයා Savinda Perera, අපි එතැනදී පළමුව මුනගැහී කලින් දවසේ කතාකරගත්ත විදිහට shizuoka සිට Fujinomiya දක්වා අපි කෝච්චියෙන් යන්න පිටත් විය. සගයා convenience store එකකින් ගත්ත පාන් වර්ග පුරෝගත්ත කවරයි වතුරයි තමයි මේ ගමනේ අපේ කෑම උනේ. මහා වැස්ස පිරුණු කුණාටු දවසක් වුන එදා දවස ෆුජි කන්ද නගින්න එතරම් සුදුසු දවසක් උනේ නැහැ. මේ ගමනේ මම කලින් තියල කල්පනා කරලා දෙයක් කලානම් කලේ වැස්සට හොදින් ඔරොත්තුදෙන හොද වැහි කබායක් ගත්ත එක විතරමයි.
ඉතින් Fujinomiya station එකෙන් බැහැල ලස්සන ගහකොළ පිරිච්ච කැලයක් මැදින් වැටුන පාරක බස් වලින් අපි ෆුජි කන්ද නගින්න පටන්ගන්න තැනට යාන්තමට උදේ 11.00 වෙනකොට යාගන්න පුළුවන් වුනා. වැහිකබා ඇදගත් අපි ගමන ඉකමනින් ඉවරකරගන්න පුලුවන් උනොත් අදම ගෙදර යනවා, නැති උනොත් උඩ නැවතිලා හෙට උදේ යනවා කියල හිතාගෙන ෆුජි කන්ද නගින්න පටන්ගත්ත අපිට මේ සීතල, කුණාටුව , නවතින්නේ කොහෙද, කොහොමද කියලවත් අපිට කිසිම අදහසක් තිබුනේ නැහැ. අඩුම තරමින් camping tent එකක්වත් තිබුනේ නැති අපි දෙන්නගේ කටේ තිබ්බ එකම උත්තරය වූනේ “මොකක්හරි කරමු බන්” කියපු වචන ටික විතරයි.
විටක මහා වැස්සත් තවත් විටක ගණ මීදුමත් පිරුන අපි අවට වටපිටාව ගමනේ වෙහෙස දුරුකලේ, ෆුජි කන්ද අපිව සාදරයෙන් පිලිගන්නවා කියන්න උත්සහ කරනවා වගේදෝ කියල මට වෙලාවක හිතුන. හෙමින් ඇවිදින්න බැරි එක මට පුරුදු විදිහ, ඉතින් මගේ සගයාගේ වේගය මට ඇවිදගන්න තරම් අමාරු වුන ගමනක් වුන නිසා මේ ගමනේ කදු මුදුනට යනතෙක් අපි දෙන්න අතර පරතරය අඩුම 1km විතර වුනා.
පැත්තම එලිය කරන විදුලි සැරයි මොර සුරන වැස්සයි එක්ක හවස 4.00 විතර වනකොට ගමනේ හරි අඩකටත් වැඩි දුරක් යාගත් අපි බඩගින්නත් නවත්තගන්න බැරි හතියත් නිවාගන්න ඇතුළු වූ ඒ පුංචි නවාතැන් පලෙන් rice and curry දෙකයි beer දෙකයි ගත්ත අපි ගමනේ එතෙක් අපිට හමු වුන අත්දැකීම් සහ ගමනාන්තය තෙක් වූ ගමන ගැන දෙදෙනාගේම අදහස් බෙදාගන්න ගමන් පැය 1/2 ක විතර පුංචි විවේකයක් ගතකර මහා වැස්සක් අතවනාගෙන එන වෙලාවක නැවතත් ගමන යන්න පටන්ගත්තේ අද දිනය තුල කෙසේ හෝ කදු මුදුනට යනවා කියා සිතාගත් අධිෂ්ඨාණය නිසාම ය.
මෙතනින් පස්සේ තමයි මේ ගමනේ මම සහ සගය ඇත්වින්ද ඒ ජීවිතයත් මරණයත් අතර කතාව පටන්ගන්නේ. ජීවිතයේ අපි මේ මොහොතේ මැරෙයි කියන හැගීම, මට මගේ මරණය වෙනුවෙන් ok කරගන්න පුළුවන් වුනත් මගේ වටේ ඉන්න මට ආදරය කරන ආදරණීය හදවත් වෙනුවෙන් මට ඒ හැගීම ok කරගන්න තරම් එදා මට හයියක් තිබුනේ නැහැ. ඒ පැයක පමණ ගමන කුණාටුවත් වැස්සත් සමග වැටෙන අයිස් කැටත් ඒ මොහොතේ මගේ මරණේ හඩ වුන අකුණුත් එක්ක මිනිස් පුළුටක් නොපෙනුන ඒ ෆුජි කදු මුදුනේ අවසන් 2km ජීවිතයේ එතෙක් විද නොතිබූ හරි ලස්සන අත්දැකීමක් වුනා. අවාසනාව නම් මට ඒ මොහොත මගේ කැමරාවට හසු කරගැනීමට නොහැකි වීමයි. ඒකට හේතු වුනේ විදුලිය කොටන විට electric උපකරණ භාවිතය අපි පහසුවෙන්ම මරණයට පාර කපාගන්නක් යැයි සිතූ නිසාවෙනි. ඉතින් camera එක අතට නොගත්ත මට ඒ හිත හිරිවැටෙන අත්දැකීම මගේ මතක ගබඩාවේ තදින් මතක සටහන් කරගන්නට සිදු වුනෙමි.
ඉදිරිය පෙන්නේ නැති තරමට වහිනා වැස්සත්, කන්ද උඩ සිට ගලා එන දිය පාරත් මගේ ගමනට බාදා කලේ ජිවිතයට හමුවන කුණාටු හීදී අභියෝග ජයගෙන තම අරමුණ කරා ශක්තිමත්ව ඉදිරියට යන්නේ කෙසේද යන්න කියාදෙන්නට උත්සහ කරන්නාක් මෙනි. මහා වැස්සට පෙගුන මගේ මුළු ශරීරයත් කදු මුදුනේ සීතලට අත් කකුල් දරදඩු වී ගැහි ගැහී පැයක පමණ අසීරු ගමනකින් පසු අවසානයේ කදු මුදුනට ගිය මා, මහා වැස්සෙන් ආවරණය වීමේ අදහසින් දුරතියා කිසිදු කෙනෙකු පෙනෙන්නට නොහිටි කදු මුදුනේ ඒ නවාතැන්පල වෙත ගිය මා හට කිසිදුලෙසක බලාපොරොත්තු නොවූ ලෙස නවතන්පලෙහි හිමිකරුවා දුර තියා එන දුටු මා හට තම නවාතන්පලට ගොඩවෙන්නැයි නිහතමානී ආරාධනාවක් කෙරුවේ බියකරු කුණාටුවෙන් බේරී ජයගත් ජයක්ග්‍රහයෙකු පිළිගන්නා අයුරිනි.
නවාතැනට ඇතුළු වුන මා වතුර බේරෙමින් තිබූ වැහි කබාය ගලවා මහා වැස්සෙන් පෙගුන ගමන් මල්ල බිමින් තිබූ මාගේ දෙනෙත් නැවත ජනෙල් කවුළුව අතරින් ඈතට යොමු වූයේ කුණාටුව මැදින් කදු මුදුනට එන්නට වෙර දරන මගේ සගයා ඇස ගැටේවි යන බලපොරොත්තුවෙනි. මා නවාතැනට පැමිණ ගත වුයේ මිනිත්තු 10ක් පමණි, කුණාටුව තවත් දරුණු වී අප අවට කදු මුදුනේ කිසිදු ඡායාවක් නොපෙනෙන තරමටම මහා වැස්සෙන් මාගේ දර්ශන පථය අවහිර විය. මිනිත්තු 30 ගත වී අවසන් නමුත් සගයා තවම මාගේ ඇස ගැටුනේ නැත. පියෙකුට තම දරුවා අහිමි වුවා මෙන් මාගේ හිතට දැනේනට පටන්ගෙන හමාරය. කදු මුදුනට ඇදහැලෙන සීතල වතුරෙන් පෙගුන මගේ ශරීරය බිය නමැති කරුමක්කාරයා උණුසුම් කලේ සගයාගේ ගමන ඔහු අතරමග ම අවසන් කලාදෝ කියන බියකරු සිතුවිල්ලත් සමගය. බිය නම් මධුවිතින් මත් වී සිටි නමුත් කිසිවක් නොපෙනෙන ඈත බලාසිටියේ ඔහු කෙසේ හෝ මගේ දෑස ගැටේවී යන හිත යට බලාපොරොත්තුව නිසාවෙනි.
බලාපොරොත්තු වූත් බලාපොරොත්තු නොවූත් ඒ දසුන මාගේ දෑස ගැටෙන විට මිනිත්තු 45 පමණ ගත වී ගොස් තිබුණි. 100¥ යේ සුදු වැහිකබයක් දවටාගත් සගයා කුණාටුව මැදින් ඈත එන දුටු මා ඉහවහා ගිය සතුටින් පිරී ඉතිරී ගියහ. සිතුවිලි ලෝකයක අතරමන් වී සිටි මා නැවත පියවි සිහියට පැමිණියේ තම දරුවා සියසින් දුටු මුල් දිනයේ පියෙකුට ඇතිවන්නාවූ උතුරාගිය පිය සෙනහසක් සේ සිතිය හැකි, එය මෙයැයි කිව නොහැකි පුදුමාකාර සතුටකිණි.විගස නවාතන් හිමියාට දන්වා නවාතැන්පලට ගත් ඔහුව මා විසින් පිළිගත්තේ හදවතින් ම දිගුකල නමුත් සීතලට දරදඩු දෑත් දෙකෙනි. ඒ මොහොතේ අප අවට වූ ජපන් වැසියන්ගේ මුවින් පිටවූයේ 危ないよ( あぶない= භයානකයි) යන වචනය පමණි. මන්ද එය එතරම් භයානක ගමනක් වූ බැවිනි. එනමුත් ඒ මොහොතෙහි කිව නොහැකි සතුටක පැටලී සිටි මාගේ සතුට සැනකින් නැතිව ගියේ ඉන්පසු අපට මුහුණ දීමට සිදු වූ අභියෝගය නිසාය.
කදු මුදුනට කළුවර වැටී හමාරය, කුණාටුවද තවමත් අඩුවක් නැත, අපට මෙම නවාතැනෙහි නතර වෙනවා හැරෙන්නට වෙන කිසිදු විකල්පයක් නොවීය. නමුත් එක අයෙකුට 10 000¥ මුදලක් වැය වීමත් අප සතුව 10 000¥ මුදලක් ඇරෙන්නට වෙන මුදලක් ඉතිරිව නොමැති වීමත් අපව අතරමන් කලේ ගලවාගත නොහැකි පබගාලකය. නමුත් පුදුමයක සහ වාසනාවක මහත නම් නවාතැන් හිමියාගෙන් අපට ලැබුන පිළිතුරය. “මේ කුණාටුවයි කලුවරි එක්ක ඔයාලට අපහු යන්න බැහැනේ, ඔයාල අද මෙහෙ නතර වෙන්න සල්ලි මොකක්හරි කරමු,” මෙම පිළිතුර කිසිදු විදිකින් මා බලාපොරොත්තු නොවු පිළිතුරක් වූයේ පිටස්තර රටක සිට පැමිණි අප දෙදෙනා වැනි දෙදෙනෙකුට මෙවන් පිළිතුරක් කිසිදු විදිහකින් නොකරනු ඇතැයි මා යටි හිතින් කල්පනා කල නිසාය. ඒ කෙසේ වෙතත් ඔහුගේ ඒ ප්‍රකාශය සහ නමක්වත් නොදන්න ඔහුව අදටත් මගේ සිතෙහි රැදෙන්නට තරම් එය ආදරණීය පිළිගැනීමක් විය.
ගමන් මළු සහ තෙත් ඇදුම් තැබීමට තැන් පෙන්වූ ඔහු වැසිකිලි සහ අපට නිදන තැන පෙන්වා සෙරෙප්පු යුගල් දෙකක් පිරිනමුයේ කදු නැගීමට තවමත් ආදුනිකයින් බව නිසැකව වටහාගත් නිසා විය හැක. අපගේ ගමන් මලු තුළ හරි අඩක් පෙගී තිබුණි, මා අමතරව රැගෙන ගිය ඇදුම් ගැන කතාකර වැඩක් නැත. මන්ද ඒවා පසුදින ගෙදර ගෙනවිත් අවුවේ වේලෙන්නට දමන තෙක් සිතල වතුරෙන් පෙගී තිබුණි. සගයා 100¥ වැහි කබාය ඇරෙන්න ගමනට පෙර සූදානමක් ඇතිව පැමිණ සිටි නිසාවෙන් මට එදින රැය ගතකිරීමට ගැටගහගත හැකි ඇදුම් කට්ටලයක් විය. ඒ වනවිට එයත් හරි අඩකටත් වැඩියෙන් සිතල වතුරට හසුවී තිබුනත් ඒ මොහොත ගැටගහ ගැනීමට වහලක් විය. සීතලේ ගැහෙමින් ඒ අසල පුටුවක වැඩි වූ අපි ගෙන ආ බනිසකින් දෙකකින් බඩ පුරවා ගත්තේ නොසෑහුන නමුත් ඒ ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නොවූ නිසාවෙනි. හෙට එළිවෙන තෙක් බලාසිටීම ඇරෙන්නට කරන්නට කිසිවක් නොවු අප දෙදෙනා වේලාසනින් නින්දට ගියේ සිතලෙහි ගැහෙමින් බලාසිටිනවා වෙනුවට ෆුතොනයෙහි ගුලිවීම අපට ඒ මොහොතේ පහසුවක් වු බැවිණි.
ගතවූයේ විනාඩි 10ක් පමණි. කිසිදු බරක්පතලක් නොමැති ළදරුවෙකු සේ මගේ සගයා තද නින්දක වැටි ඇත. නින්දක් තියා නාමයක් නොදැනුන මට ඔහුගේ ගෙරවිල්ල විටක මහා හිසරදයක් විය. නවාතැනට ගෙවන්නේ කෙසේද, මුදල් ප්‍රමාණවත් තරම් නැති අපිට අඩුම තරමින් අපගේ උදය ආහාරයවත් සලසාගන්නේ කෙසේද යන අභියෝග වලට උත්තර සොයමින් සිටි මා හට ඒ මොහොතේ මෙන්ම මෙතෙක් ආ ගමන මුළුල්ලේම සිහියට ආ එක් චරිතයක් විය. එනම් නමින් Dylan Wikrama (රෝද උඩ ජිවිතේ – Life On Wheels) නොහොත් `බ්‍රිජට්ගේ දිරිය දියණිය` වික්‍රමාන්විතයේ කතාවේ වීරයාය. ඔහුගේ YouTube චැනලය හරහා ලත් අභිප්‍රේරණයත්, අභියෝග අභියෝගයක් ලෙස නොව සුන්දර අත්දැකීමක් ලෙස අදටත් ඔහු නොදත් මා හට දකින්නට කියාදුන්නේ ඔහුය.
අහුලාගත් cellular data කීපයක් කදු මුදුනට තිබුණි. එයින් සම්බන්ධ කරගත් මගේ යහළුවා Sahan Weeraman “මචං අපි කැ
ම ගමනක් අවේ” යැයි පවසමින් ගමනේ එතෙක් සිදුවූ සියල්ල ඔහු හට පැවසුවේ එවන් සුන්දර අත්දැකීමක් බෙදාගැනීමට ඔහු හැර වෙන සමීපතයෙක් මා හට නොවූ නිසාවෙනි.”මචං අපි මොකක්හරි කරමු” ඔහුගේ මේ වචන ටික එදත් අදත් කොතනත් මා හට හයියට සිටි වචනයට එහා ගිය (මොකද්දෝ) යමක් විය. රාත්‍රී 12.00 පසුවී තිබුන නමුත් තවමත් අවදිව නින්ද සොයමින් එහාට මෙහාට පෙරලි පෙරලි සිටි මා හෝ ගානා මහා වැස්සේ සද්දයත් සගයාගේ ගෙරවිල්ලත් ෆුතොන් රෙද්දෙන් උණුසුම් කරනා ශරීරයත් සමග මාගේ දෑස් පිය වී ගොස් තිබුණි.
හිරු උදාවේ මිහිර විදින්නට අප අවට සියල්ලෝම අවදි වී පිට වීමට සුදානම් වෙමින් තිබුණි. වෙලාව උදැසන 4.30 පමණ විය. මටත් සගයාටත් දෑස් හැරුනේ ඔවුන්ගේ ඇහෙන නොඇහෙන ඒ හීන් ගෝශාවට විය හැකිය. අවදිව මද වෙලාවක් වටපිට බැලූ මාත් සගයාත් ඔවුන් සමග හිරු උදාවේ මිහිර විදින්නටත් නවාතැනට සමු දීමටත් සූදානම් විය. පසුදින තෙතබරිත වූ ඇදුම් නැවතත් ඇදගත් අපි උදෑසන ඒ ගැහෙන සීතලේ වතුර බේරෙන මේස් කුට්ටම් පැලගෙන සීතලේ ගැහෙමින් ගමන් මලු සකස් කරගත්තෙමු. ඒ අතරතුරේ විගස අප වෙත පැමිණි නවාතන් හිමිකරුවා අපගේ මුදල් ලබාගැනීමට කුමක් කරන්නේ දැයි විමසුවෙමි. කුමක් කරන්නේදැයි සිතාගත නොහැකිව සිටි මාත් සගයාත් අප සතු වූ wallet සියල්ල පිරික්සුවෙමි. සියල්ල අහම්බයත් වාසනාවත් පොදි බැදගෙන පැමිණි මේ ගමනේ සගයාගේ එක් wallet ගිණුමක 10 000¥ මුදලක් ඉතුරුව තිබුණි. සගයා සතුව මුදලින් 3000¥ සහ මා සතුව මුදලින් 7000¥ මුදල එකතු කර මගේ එක දිනක නවාතැන් ගාස්තුව ගෙවූ අපි, සගයාගේ මුදල් wallet ගිණුම හරහා නවාතැන් හිමියාට පියවුවේ ය. කුමක් කරන්නේදැයි සිතාගත නොහැකිව සිටි ඒ අභියෝගය එලෙස ජයගැනීමට හැකිවිය.
නවාතැන් ගත් අප සැමට නවාතැන් හිමකරුවන් විසින් උදය ආහාරයක් පිලියල කර තිබුණි. ජපන් ජාතීන්ට සරිලන අහාර වේලක් වූ එය අපගේ බඩ පිරවීමට තරම් ප්‍රමාණවත් නොවූ නමුත් ඒ මොහොතේ කුසගින්න නොඇවලීමට ප්‍රමාණවත් විය. නොසිතු ආකාරයට සියල්ල විසදී ගිය මේ ගමනේ සියල්ල අවාසනයේ ප්‍රතිපලය අප නොසිතු තරම් දෙයක් විය.
හිරු උදාව බැලීම ෆුජි කන්ද නැගීමේ අපේ බලාපොරොත්තුවක් නොවූ නමුත් එය අහම්බයක් මෙන් උදා වූ අවස්ථාවකි. කුණාටුව පහව ගොස් තිබූ අතර උදය ආහාරය ගෙන නවාතැන් හිමියාට කල උපකාරයට හදවතින්ම ස්තූති කර අපි නවාතනෙන් පිටත් විය. රත්රහ ගැන්වූ අහසත් අපට පහලින් වලාකුළු ස්ථරයත් ඈතින් පායාගෙන එන ඉර සේවයත් අදහාගත නොහැකි තරම් සුන්දර දසුනක් විය. ජීවිතේ මෙතෙක් දුර ගෙවා ආ ගමනේ ඇතිවූ ගැටීම්, හැල හැප්පීම්, අහිමි වීම්, ප්‍රතික්ෂේප වීම් සහ එකී නොකී සෑම හිත් රිදවීමක්ම ජපානයේ උසම කන්ද මුදුනේ සිට සියල්ල අමතක කරන්නාක් සේ කදු මුදුනේ අගාදයට විසිකලේ මා අවට මැවී ඇති මේ සිත් අදහාගත නොහැකි දිව්‍යලෝකය නව ආරම්භයේ නව ප්‍රාණය ක්‍රමයෙන් මාගේ හද පතුලට ගැබ් කරමින් සිටි මොහොතකය.
කදු මුදුනේ ගලක් උඩ වාඩි වූ මාත් සගයාත් ඉර පායනා සැටිත් අපට නොදැනීම ගෙවෙන කාලයේ විශ්මය දෙස බලා සිටි අප දෙදෙනා දෙදෙනාගේ මහන්සියේ ප්‍රතිඵල භුක්ති වින්දෙමු. ඊයේ වැස්සට අපගේ ඇග නොතෙමුන තැනක් නැති තරම් ය, අප රැගෙන ගිය සෑම දෙයක්ම සීතල වතුරෙන් තෙත බරිත විය. එහෙත් පුදුමයක මහත නම් පෙට්ටියේ දර නොතෙමී බේරීමය. ඒ කෙසේ වෙතත් ජපානයේ උසම කන්ද උඩ, උසම තැනේ සිට ප්ලේන්ටියක් පත්තු කරමින් ඒ අවට සුන්දර දසුන විදින්නට ලැබීම ඒ මොහොත තව තවත් උණුසුම්ව විදීමට සහ සුන්දරව දකින්ට උපකාර විය.
ඉරපායා පැමිණීමත් සමග පුංචි පොද වැස්සක් ඇදහලෙන්නට ගත්තේ ඊට සුළු මොහොතකට පසුවය. සීතල පුංචි වැහි බිංදු ඉර එළියත් සමග එකතු වී හරි ලස්සන දායාදයක් ඒ මොහොතේ අප ඉදිරියේ දායාද කළහ. එක් පැත්තකින් හිරු උදාවත් අනිත් පැත්තෙන් අලංකාර දේදුණු දෙකත් ඒ හරි මැද මාත් සගයාත් ඉහවහා ගිය සතුටින් ඒ මේ අත දුවමින් අලංකාර ඡායාරුප මතකයන් එකතු කිරීමට උත්සහ කළේය. දවස් දෙකක් තුල මගේ ජීවිතය තුළ විශාල අත්දැකීම් රාශියක් ගෙනදුන් මේ ගමන ජිවිතයේ අමතක නොවන මතක සටහන් රැසක් ගොනු කිරීමට සමත් විය.
මේ ගමනේ ඒ වන තෙක් ගතකල හැම තප්පරයකට ම හදවතින්ම ආදරය කල මමත් සගයාත් ඉරගල මුදුන්වෙන්නට පෙර ෆුජි කන්දට සමුදී නිවෙස් බලා පිටවීමට සිදුවිය. සමුදීමට තරම් හිතක් අපට ඒ මොහොතේ නොතිබ්බද අප සතු යම් යම් එදිනෙදා වගකීම් රැදෙන්නට තරම් වාසනාවක් අපට නොදුන්නේය. කෙසේ නමුත් අහම්බයන්ගෙන් සහ වාසනාවන්ගෙන් පිරි මේ අහම්බකාරකයට අදටත් කොන්දේසි විරහිතව ආදරය කරමි.
ජීවිත මතක ගොනුවේ මෙම මතක සටහන එහි ඉහලින් ම තබා තබමි. මන්දයත් ඒ ලැබූ අත්දැකීම මෙසේ වචන වලින් ඔබට මෙයැයි කිවනොහැකි තරම් සුන්දර අත්දැකීමක් වූ නිසාවෙනි. දිගු කතාවක් හරිම කෙටියෙන් ලියා සමාජ මාධ්‍යයට මුදාහරිමීයි සිතා ලියන්නට ගත්තත්, ලියන්නට පටන්ගත් තැනේ සිට මා ලද අත්දැකීම් සාරාංශ කිරීමට ලෝභ කමක් ඇතිවිය. ඉතින් පිටුවෙන් දෙකෙන් ලියා අවසන් කරමී සිතූ මෙය මේ වනවිට පිටු ගණනක කතාවක් ලියවී අවාසන්ය. මෙය සමාජ මාධ්‍යයට මුදාහැරියත් 100 දෙනෙක්ගෙන් එක් අයෙකුවත් මේ හෑල්ල කියවාවිදෝ කියන අවිශ්වාසය මගේ සිත තුල ඇති නමුත් එක් අයෙකු හෝ කියවාවි කියන විශ්වාසයද නැතුවාම නොවේ. මන්ද මමත් හෑලි කියවීමට එතරම් කැමැත්තක් නැති නිසාවෙනි. ඉතින් එක් අයෙකු හෝ මගේ හෑල්ල කියවාවි කියන විශ්වාසය නිසා මම මෙය මෙසේ පලකරමි.
ඔබට ස්තුතිය!